ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා 10කින් සමන්විත බලඇණියක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
අද උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර, මෙම මහා පරිමාණ මූල්‍ය ගනුදෙනුව පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින් දීර්ඝ වශයෙන් කරුණු විමසනු ඇතැයි වාර්තා වේ. ඊයේ නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සඳහන් කළේ ඕනෑම පරීක්ෂණයකට සහය ලබා දීමට තමන් සූදානම් බවයි.















