ලිඳුල පොලිස් බලප්‍රදේශයට අයත් වතු යායක පදිංචි 13 හැවිරිදි පාසල් දැරියක අපයෝජනය කර ඇයව ගැබිනියක් බවට පත් කළ බව කියන 40 හැවිරිදි දෙදරු පියෙකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ එම වතුයායේම පදිංචි, ප්‍රාදේශීය පාසලක 9 වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකි. මෙම දැරියගේ හැසිරීම පිළිබඳව පාසලේ ගුරුවරියකට ඇති වූ සැකය මත ඇය ඒ පිළිබඳව දැරියගේ මව දැනුවත් කර ඇති අතර, පසුව මව විසින් තම දියණියගෙන් සිදුකළ විමසීමකදී මෙම බරපතළ අපරාධය අනාවරණය වී ඇත.
ඒ අනුව දැරියගේ මව විසින් ඊයේ (21) දින ලිඳුල පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පැමිණිල්ල ලැබුණු වහාම ක්‍රියාත්මක වූ ලිඳුල පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමට පියවර ගත් අතර, එහිදී ඇය මේ වන විට මාස දෙකක ගැබිනියක් බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. අනතුරුව වැඩිදුර සායනික ඇගයීම් සහ වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා දැරිය නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO) වෙත යොමු කර තිබේ.
පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් සැකකරු ද එම වතුයායේම පදිංචිකරුවෙකු වන අතර, බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සහ ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය. සැකකරු අද (22) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














