ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් වර්ධනය වන සයිබර් අපරාධ මැඬලීම සහ දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව සයිබර් ආරක්ෂණ පනතක් (Cyber Security Law) ළඟදීම හඳුන්වා දීමට කටයුතු කරන බව ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වත්මන් නීති පද්ධතිය තුළ සයිබර් අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කිරීමට සහ පවතින සන්නිවේදන ජාලයන්හි ආරක්ෂාව නියාමනය කිරීමට ප්‍රමාණවත් හා විධිමත් නීතිමය ප්‍රතිපාදන නොමැති වීම විශාල අඩුවක්ව පැවති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම නව නීතිමය රාමුව යටතේ සමස්ත සයිබර් අවකාශයම ආවරණය වන පරිදි කටයුතු කරන විශේෂ සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරියක් (Cyber Security Regulatory Authority) ද අලුතින්ම ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. මෙමඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඩිජිටල් පද්ධතීන්හි ආරක්ෂාව තහවුරු කිරීම, අන්තර්ජාලය ඔස්සේ සිදුවන මූල්‍ය වංචා හා දත්ත සොරකම් වැළැක්වීම මෙන්ම ජාතික ආරක්ෂාවට එල්ල වන සයිබර් තර්ජන හඳුනාගෙන ඒවාට කඩිනමින් පිළියම් යෙදීමට අවශ්‍ය පූර්ණ නීතිමය බලය මෙම නව අධිකාරිය වෙත පැවරෙනු ඇත.














