27 April 2024
#දේශීය

ලිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සීටි සිවු දෙනෙකු අත්අඩංගුවට

එප්පාවල කටියාව යාය 01 ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ ලිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සීටි බවට සැක පිට පුද්ගලයින් සිවු දෙනෙකු කැනීම් සිදු කිරීමට යොදා ගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත එප්පාවල කටියාව පුරාණ වැව් ඉස්මත්තේ පිහිටි ගෙවත්තක පෞරාණික ගල් ඉවත් කරමින් කැනීම් සිදු කරමින් සිටි සිව් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.ඒ අතර එප්පාවල පදිංචි ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බල ඇණියේ සාමාණය සෙබලකුද වන අතර, සෙසු සැකකරුවන් හිඟුරක්ගොඩ, කටුනායක පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැනීම් කළ ස්ථානයේ කැනීම් සඳහා යොදා ගත් උදලු 01, පිකස් 01, යකඩ ඉනි 02, කටු 04 , මිටි 01, කුළු ගෙඩි 01 ඇතුළු ආයුධද පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබා ගත් බලපත්‍රයක් මත ලිඳක් හැරීම සිදු කරන බවට පවසා අදාළ බලපත්‍රයද ඉදිරිපත් කර ඇත.කෙසේ නමුත් අදාළ බලපත්‍රයේ අනුගමනය කළ යුතු ක්‍රියා දක්වා ඇති අතර, ඒවා අනුගමනය නොකර කැනීම් සිදු කර ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) තඹුත්ත‌ේගම මහ‌ේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බල ඇණියේ සාමාණය සෙබලකුද සැකකරුවන් අතර සිටින බැවින් ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් නිළධාරීන්ද පරීක්ෂණ සිදු කරති. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එකනායක මහතාගේ උපදෙස් මත, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උ.පො.පා ජයම්පත්, පො.සෑ 68606 එරංග, පො.කො 87946 හේරත්, විශේෂ කාර්යංශ නිළධාරී 5837 චමල් යන නිළධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *