රුධිරගත පිළිකා රෝගීන් සඳහා සිදුකරනු ලබන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වුව ද, සැත්කමෙන් පසුව වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් දැඩි ලෙස ආරක්ෂා නොවුණහොත් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති. ‘ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමෙන් පසු සුව වූවන්ගේ එකමුතුව’ විසින් අස්ථි ඇටමිදුළු බද්ධයෙන් පසු රෝගී සත්කාර, ආරක්ෂාව සහ ආසාදන වැළැක්වීම පිළිබඳව මහජනතාව සහ රෝගීන් රැකබලා ගන්නන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (16) තලවතුගොඩදී සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකදී වෛද්‍යවරුන් මේ බව කියා සිටියේය.
මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයා ලෙස රුධිර වේදය සහ අස්ථි ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳ උපදේශක ඉන්දියානු වෛද්‍ය ආචාර්ය මල්ලිකාර්ජුන් කලාෂෙට්ටි මහතා සහභාගි වූ අතර, මෙරට ප්‍රමුඛ රුධිරගත පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් වන බුද්ධික සෝමවර්ධන සහ නිලුපුලී ගුණරත්න යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සදහන් කළේ, මෙරට තුළ වසරකට අලුතින් පිළිකා රෝගීන් 15,000ත් 18,000ත් අතර ප්‍රමාණයක් හඳුනාගන්නා බවයි. ඉන් 2,000ක්ම රුධිරගත පිළිකා (ලියුකේමියා) රෝගීන් වුව ද, ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවටම ඉතිරිව සිටින්නේ රුධිරගත පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු (04) පමණි. ඉන් තිදෙනෙකුම මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අතර, මෙරට සිටි විශේෂඥ වෛද්‍යවරුන් 7-8 දෙනෙකුම මේ වන විට ලංකාවෙන් බැහැරව විදේශගතව සිටීම බරපතළ ගැටලුවකි. නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රජය උපරිමයෙන් නොමිලේ ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළ ද, අතිවිශාල වියදමක් යන ඇතැම් නවීන ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ලංකාව තුළ නොමැති වීම හේතුවෙන් අකමැත්තෙන් වුව ද රෝගීන්ට විදේශීය රෝහල් වෙත යන ලෙස යෝජනා කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ. විශේෂයෙන්ම ඇටමිදුළු බද්ධ කිරීමෙන් පසු පළමු වසර තුළ රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉතා පහළ මට්ටමක පවතින බැවින්, ඔවුන්ට වැළඳෙන විවිධ සංකූලතා සහ ආසාදනවලින් ජීවිත කාලය පුරාම ආරක්ෂා කරගැනීමේ වගකීම වෛද්‍යවරුන් සතු වෙයි.














