ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය කරන කාන්තාවන් සඳහා වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රුසිතා පෙරේරා මහතා පවසයි.
වෛද්‍ය රුසිතා පෙරේරා මහතා මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය වසරේදී තම සංගමය විසින් කාන්තා සේවිකාවන් සඳහා වැටුප් සහිත ඔසප් නිවාඩු ලබා දීමේ ප්‍රතිපත්තිය නිල වශයෙන් ක්‍රියාත්මක කළ බවයි. මෙම සාර්ථක අත්දැකීම පදනම් කරගනිමින්, රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන තුළද මෙවැනිම ප්‍රගතිශීලී වැඩපිළිවෙලක් අනුගමනය කිරීම කාන්තා සෞඛ්‍යයට සහ සේවා ස්ථානයේ කාර්යක්ෂමතාවයට බෙහෙවින් ඉවහල් වන බව ඔහු පෙන්වා දෙයි.
මෙම යෝජනාව තුළින් සේවා ස්ථානවල කාන්තාවන් මුහුණ දෙන ශාරීරික අපහසුතා අවම කරමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා වන පරිසරයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.
















