ගෝලීය බලශක්ති සහ වෙළඳ මර්මස්ථානයක් බඳු වූ හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ප්‍රංශය සිය ‘චාල්ස් ඩි ගෝල්’ ගුවන් යානා වාහක නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක බලකාය රතු මුහුද වෙත යෙදවීමට පියවර ගෙන තිබේ. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම මෙම මෙහෙයුමේ මූලික ඉලක්කය බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.
ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය එක්ව සකස් කරන ලද මෙම නව යෝජනාවලිය මඟින් ඉරානයට සිය නෞකා සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් ලබා දෙන අතර ඊට හිලව් වශයෙන් න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ සාකච්ඡා කිරීමට ඉරානය එකඟ විය යුතුය. එසේම ඇමරිකාව ද හෝමුස් සමුද්‍ර සන්ධියේ පනවා ඇති අවහිරතා ඉවත් කළ යුතු බවත්, ඒ හරහා ජාත්‍යන්තර නාවික ගමන් බිමන් සඳහා ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කළ හැකි බවත් ප්‍රංශ ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.
ඉතාලි සහ ඕලන්ද යුද නැව්වල සහයෝගය ද සහිතව ක්‍රියාත්මක වන මෙම බලකාය කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාත්‍යන්තර වෙළඳ ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගීමට ද දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තෙල් මිල ඉහළ යාම සහ නාවික මාර්ග අවහිර වීම හමුවේ යුරෝපා රටවල් සිය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට ගත් මෙම පියවර, ඇමරිකානු සහ ඉරාන බලධාරීන්ගේ එකඟතාව මත ඉදිරියට ගෙන යාමට නියමිතය.














