යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ කරුණු 14කින් සමන්විත එකඟතා යෝජනාව පිළිබඳව ඉරානය දැනට දැඩි අවධානයක් යොමු කරමින් පවතින බව වාර්තා වේ. දෙපාර්ශ්වය අතර ස්ථීර සාමයක් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් වූ මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ඉරානය සිය අවසන් තීරණය පකිස්ථාන මැදිහත්කරුවන් හරහා දැනුම් දීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බඝායි පවසයි.
ධවල මන්දිරය විසින් සකස් කරන ලද මෙම යෝජනාවලියට ඉරානයේ න්‍යෂ්ටික බලගැන්වීම් අත්හිටුවීම, පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම වැනි ප්‍රධාන කොන්දේසි ඇතුළත් බව පැවසේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ පසුගිය පැය 24 තුළ ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බවත්, දෙරට අතර ස්ථීර එකඟතාවක් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත්ය.
කෙසේ වෙතත් ඉරාන පාර්ලිමේන්තුවේ ඇතැම් නියෝජිතයන් මෙම යෝජනාවලිය දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඇමරිකාව නිසි සහන ලබා නොදුන්නහොත් දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට තමන් සූදානම් බවට ද අනතුරු අඟවා තිබේ. මේ අතර ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් සහමුලින්ම තුරන් කිරීමේ ඉලක්කය සම්බන්ධයෙන් තමන් සහ ට්‍රම්ප් අතර පූර්ණ සම්බන්ධීකරණයක් පවතින බවයි.














