දැඩි උෂ්ණාධික කාලගුණය (Heatwave) හමුවේ ප්‍රංශයේ පැරිස් නුවරට නුදුරු ඓතිහාසික ෆොන්ටේන්බ්ලෝ (Fontainebleau) වනාන්තරයේ හටගත් දරුණු ලැව්ගින්නක් මර්දනය කිරීමට සිය ගණනක ගිනි නිවන භටයින් සහ ගුවන් යානා යොදවා තිබේ. පැරිස් නුවර දකුණු ප්‍රදේශයට සම්බන්ධ කරන ප්‍රධාන මහා මාර්ගය ද මේ හේතුවෙන් වසා දැමීමට සිදුවූ අතර, ප්‍රදේශයේ වැසියන් 800කට ආසන්න පිරිසක් ඉවත් කර ඇත.
මෙම ගින්න ස්ථාන කිහිපයකින් එකවර හටගෙන තිබීම හේතුවෙන් එය කිසිවකු විසින් හිතාමතා සිදුකළ ක්‍රියාවක් බවට සැක කරන ප්‍රංශ බලධාරීන්, ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට ප්‍රංශයේ මිලියන 26ක ජනතාවකට දැඩි උණුසුම් කාලගුණයක් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.
මේ අතර යුරෝපය පුරා පවතින මෙම දරුණු උණුසුම් කාලගුණය හේතුවෙන් ස්පාඤ්ඤයේ ලැව්ගිනිවලින් මියගිය ගණන 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය මැයි සහ ජුනි මාසවල ඇති වූ දැඩි උෂ්ණත්වය හේතුවෙන් යුරෝපය පුරා සහ බ්‍රිතාන්‍යයේ පමණක් දහස් සංඛ්‍යාත අතිරේක මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් මෙවැනි දරුණු ලැව්ගිනි සහ කාලගුණ විපර්යාස නිතර සිදු වන බව පර්යේෂකයන්ගේ මතයයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














