ප්‍රංශයේ උතුරු වෙරළ තීරයේ හටගත් ලැව්ගිනි දෙකක් හේතුවෙන් කඳවුරු බිමක (campsite) සිටි පුද්ගලයින් 1,200ක් පමණ ආරක්ෂිතව ඉවත් කර ඇති බව ප්‍රදේශයේ බලධාරීන් පවසා තිබේ.
ඩෝවර් ජලසන්ධියට (Strait of Dover) මායිම්ව පිහිටි රටේ උතුරු දෙසින් පිහිටි පාස්-ඩි-කැලේ (Pas-de-Calais) පරිපාලන දෙපාර්තමේන්තුවේ ප්‍රාන්තය සඳහන් කළේ, ලැව්ගිනි දෙකෙන් එකක් මේ වන විට පාලනය කර ඇති නමුත්, අනෙක් ගින්න සඳහා කාලගුණික තත්ත්වයන් “අහිතකර” ලෙස පවතින බවයි. එම ප්‍රදේශයට පිවිසීම අපහසු වී ඇති අතර, ගින්න කිසිදු බාධාවකින් තොරව දකුණු දෙසට පැතිර යමින් පවතී.
ප්‍රංශය සහ පුළුල් යුරෝපීය මහාද්වීපය ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන කලාපය වන අතර, සාපේක්ෂව තෙත් සහිත ශීත සෘතුව වෘක්ෂලතා වර්ධනය උත්තේජනය කිරීම සහ පසුව මතු වූ දැඩි උණුසුම් තරංග හේතුවෙන් ඒවා වියළී යාම නිසා මෙම වසරේ අසාමාන්‍ය ලෙස සක්‍රීය ලැව්ගිනි කාලයකට මුහුණ දී සිටී. උණුසුම් තරංග හේතුවෙන් යුරෝ බිලියන 15ක (ඇමරිකානු ඩොලර් බිලියන 17ක) සෘජු හා වක්‍ර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බව ප්‍රංශ පරිසර අමාත්‍ය මොනික් බාර්බුට් (Monique Barbut) මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














