වසර ගණනාවක සිට මෙරට බලශක්ති ක්ෂේත්‍රය වෙලාගෙන ඇති ගල් අඟුරු ආනයනය හා බැඳුණු දැවැන්ත මූල්‍ය ගනුදෙනු පිළිබඳව සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැන් සිවිල් සමාජයේ දැඩි අවධානය යොමුව තිබේ. 2009 වසරේ සිට මේ දක්වා සිදුවූ ගල් අඟුරු ගනුදෙනු වල පාරදෘශ්‍යභාවය පිළිබඳව ජනතාව තුළ පවතින බරපතළ සැකය හමුවේ, මෙම විමර්ශන ක්‍රියාවලිය සාධාරණව සිදුවන්නේද යන්න තහවුරු කරගැනීමට ‘ෆී ලෝයර්ස්’ සංවිධානය සෘජුවම මැදිහත් වී ඇත.
මෙම කොමිෂන් සභාවේ කාර්ය නියමයන් (TOR) සහ කාර්ය පටිපාටිය පිළිබඳ සම්පූර්ණ විස්තර ලබාදෙන ලෙස ඉල්ලමින් ‘ෆී ලෝයර්ස්’ සංවිධානය එහි ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත අද (14) විශේෂ ලිපියක් යොමු කර තිබේ. මහජන විශ්වාසය සහ විමර්ශන වල ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින මෙම සංවිධානය, සාක්ෂිකරුවන්ගේ හිමිකම් සහ මහජන ප්‍රවේශය වැනි කරුණු පිළිබඳව දින 7ක් ඇතුළත පැහැදිලි තොරතුරු ඉල්ලා සිටින්නේ මෙම විමර්ශනය හුදෙක් නාමික එකක් වීමට ඉඩ නොතැබීමේ අරමුණිනි.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ රටේ ජනතාව සතු තොරතුරු සහ සාක්ෂි නිසි පරිදි ඉදිරිපත් කිරීමට නම් කොමිසමේ ක්‍රියාපටිපාටිය විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවයි. වංචාව සහ දූෂණයට එරෙහිව ජනතාව තුළ පවතින බලාපොරොත්තුව සුරැකීමට නම්, රජය සහ කොමිෂන් සභාව මෙම තොරතුරු කඩිනමින් අනාවරණය කළ යුතු අතර, ඉදිරි සතිය තුළ ලැබෙන ප්‍රතිචාරය මත ගල් අඟුරු මාෆියාවේ සුලමුල සෙවීමේ මීළඟ තීරණාත්මක පියවර තීරණය වනු ඇත.














