ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයින් 74 දෙනෙකු මීට පෙර කාම්බෝජයේදී ද මෙවැනිම සයිබර් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා එරටින් පිටුවහල් කරන ලද පිරිසක් බව කොල්ලුපිටිය පොලිසිය අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු වාර්තා කරමින් පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇත්තේ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් බවයි. මීට අමතරව මෙම පිරිසගේ වැටුප් ගෙවීම් ශ්‍රී ලාංකික කාන්තාවක විසින් සිදු කර ඇති අතර තමන්ට එම මුදල් ලැබුණේ කවුරුන්ගෙන්දැයි තමන් නොදන්නා බව ඇය ප්‍රකාශ කර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම වියට්නාම ජාතිකයින් පිරිස මැයි මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන ජාත්‍යන්තර සයිබර් ජාලයන් පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














