වැල්ලවත්ත පොලිස් වසමේ, ෆෙඩ්රිකා පාර ප්‍රදේශයේදී පෙරේදා (09) රාත්‍රී කාලයේ සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
වැල්ලවත්ත පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරුගේ නිවස ආසන්නයේම පදිංචි මිතුරෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. සැකකරු විසින් මරණකරුට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට තහවුරු වී ඇත.
ඝාතනය සිදු කළ 56 හැවිරිදි සැකකරු වැල්ලවත්ත පොලිසිය විසින් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැල්ලවත්ත පොලිසිය මගින් සිදු කෙරේ.
















