දිගු කලක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මුළුමනින්ම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මෙම පනතට අදාළ මූලික කෙටුම්පත දැනටමත් ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ සඳහා සාධනීය මහජන අදහස් හා යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (18) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේ, පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නව නීති පද්ධතියක් රට තුළට හඳුන්වා දෙන බවයි. රජය විසින් සිදුකරන සෑම ව්‍යවස්ථාපිත සංශෝධනයකදීම ජනතාවගේ අදහස් කෙරෙහි උපරිම අවධානය යොමු කරන බවත්, මේ සියලු පියවරයන්හි මූලිකම අරමුණ ශ්‍රී ලංකාව වඩාත් නිදහස් හා යහපත් රටක් බවට පත්කිරීම බවත් හෙතෙම කියා සිටියේය.
රටේ ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ වන විට උතුරු පළාතේ යුද හමුදාව සතුව පැවති දේශීය වැසියන්ගේ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. එමෙන්ම, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සක්‍රිය කරමින් ඒ හරහා අගතියට පත් පවුල් වෙනුවෙන් වන්දි ගෙවීම් සහ විධිමත් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරට අධිකරණ ක්‍රියාවලිය (Judicial Process) ප්‍රමාද වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවතින ගැටලුවලට පිළිතුරු දුන් නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, එම ප්‍රමාදයන් සිදුවන්නේ කිසිදු දේශපාලන මැදිහත් වීමක් හෝ හේතුවක් මත නොව, පද්ධතිය තුළ පවතින පරිපාලනමය ගැටලු (Administrative Issues) හේතුවෙන් පමණක් බවත්, ඒවා කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.














