වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්රදේශයේ ඉඩමක පුපුරණ ද්රව්ය ඇතුළු තහනම් ද්රව්ය රැස් කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
අද (28) කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තමන්ට එරෙහි අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කර ඇත.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මඩුල්ල එක් එක් චෝදනාවට වසර 12 බැගින් සිරදඬුවම් නියම කර ඇති අතර, එම දඬුවම් එකවර ක්රියාත්මක කිරීමට නියෝග කර තිබේ. ඒ අනුව සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.
කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සහ රැඳවුම් නියෝග යටතේ ගතකර ඇති වසර හතහමාරක කාලය දඬුවම් කාලයෙන් අඩු කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇතැයි අධිකරණයේදී සඳහන් වී තිබේ.
විත්තිකරු වරද පිළිගැනීම, නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහුගේ වයස අවුරුදු 63ක් වීම සහ අනෙකුත් සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමින් දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.
මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තාට තම ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට නියම කර තිබේ. එදින පෙරවරු 7.45 වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
ගෆූර් මාමා නමැති විත්තිකරුට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවල තවත් නඩු දෙකක් පවතින බැවින්, එම අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
මෙම නඩුවේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර, මේ වන විට විත්තිකරුවන් පස්දෙනෙකු චෝදනාවලට වරද පිළිගෙන දඬුවම් ලබා ඇති බව අධිකරණයේදී සඳහන් විය.
















