ගාල්ල, අම්බලන්වත්ත අනගාරික ධර්මපාල මාවතේදී යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (27) පෙරවරුවේ අම්බලන්වත්ත දෙස සිට කරාපිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. ගැටීමෙන් පසු පාලනයෙන් ගිලිහුණු ත්‍රිරෝද රථය පෙරළී ගොස් අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් එහි පසුපස ගමන් කළ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් සහ හීන්පැන්දල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල රථවාහන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















