ගාල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක සිසුවියන්ගේ සුදු නිල ඇඳුම්වලට පිටුපසින් රතු තීන්ත විදින ලද පිරිමි ගුරුවරයෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම සැකකරු මීට මාසයකට පමණ පෙර අදාළ පාසලට ගුරුවරයෙකු ලෙස බැඳී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ගාල්ල, සරවන්තුකඩේ හන්දිය ප්‍රදේශයේදී ප්‍රසිද්ධියේ මෙම ක්‍රියාව සිදුකර ඇති අතර, අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවල එම දර්ශන සටහන් වීමත් සමඟ සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ ගාල්ල පොලිසිය, පොලිස් බුද්ධි අංශයේ සහය ඇතිව සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. අගතියට පත් සිසුවියන් කිහිපදෙනෙකුගේම ඇඳුම්වලට මෙලෙස හානි කර ඇති බව පොලිසිය පවසයි. ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














