ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සැමරීම සහ ඒ පිළිබඳව රජයට ස්තූතිය පළ කිරීම සඳහා පිරිසක් ඊයේ (29) පස්වරුවේ කොළඹ පිහිටි ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස් වූහ. ජාතික කොඩි අතැතිව පැමිණි විරෝධතාකරුවන් ප්‍රීති ඝෝෂා නගමින් සිය සතුට ප්‍රකාශ කළ බව වාර්තා වේ
ශම්මි සිල්වා මහතා ඉවත් කරන ලෙස බල කරමින් තමන් මාර්ගගත පෙත්සමක් (Online Petition) ආරම්භ කළ බවත්, එම විරෝධතාවය වීදි බැසීමටත් පෙර ඔහු ඉල්ලා අස්වීම විශාල ජයග්‍රහණයක් බවත් එහි පැමිණි පිරිස සඳහන් කළහ. කෙසේ වෙතත්, ක්‍රිකට් පාලනය සඳහා ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් “ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව” පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් තීරණය පිළිබඳව මෙම පිරිස සිය දැඩි අප්‍රසාදය පළ කළහ.
ක්‍රිකට් ආයතනය වැනි වගකිවයුතු ආයතනයකට දේශපාලනඥයන් පත් නොකළ යුතු බව අවධාරණය කළ ඔවුන්, ජනාධිපතිවරයා විසින් එවැනි දේශපාලනික පත් කිරීම් සිදු නොකරනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව ද වැඩිදුරටත් කියා සිටියහ.














