ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකරුවකුගෙන් ලද තොරතුරු මත, වදුරඹ ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ පිස්තෝල අවියක් සහ පතරොම් ගැබක් සොයාගෙන තිබේ. මෙම සැකකරු පසුගිය 10 වනදා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අයෙකු වන අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී ඇත.
පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මොහු සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත සිදුකළ මනුෂ්‍ය ඝාතන සහ ඝාතන තැත් කිරීම් කිහිපයකටම සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. ඒ අනුව 2025 අප්‍රේල් 03 වනදා හික්කඩුව ප්‍රදේශයේදී සිදුකළ මනුෂ්‍ය ඝාතනය, 2025 සැප්තැම්බර් 01 වනදා මීටියාගොඩදී පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ 2025 දෙසැම්බර් 22 වනදා අම්බලන්ගොඩ පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ඝාතනය කිරීමට ආධාර අනුබල දීම යන අපරාධ සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී තිබේ.
සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.














