මේ වන විට බස්නාහිර පළාත් සභාව යටතේ පවතින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කෙරිණි. කාර්ය මණ්ඩලය ඇතුළු අඩුපාඩු රාශියක් මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා කලක සිට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත්, අනිල් ජයන්ත, අනුර කරුණාතිලක, ක්‍රිෂාන්ත අබේසේන, උපාලි පන්නිල යන මහත්වරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියහ.
දිවයිනේ වැඩිම ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටි මෙම රෝහලේ 2016 වසරේ අනුමත කාර්ය මණ්ඩලය 2026 වන විටත් වැඩි කර ගැනීමට නොහැකි වීමෙන් ගැටලු මතුව ඇති බව වෛද්‍ය අරුණ සම්පත් සහ වෛද්‍ය සංජීව හල්ගහගොඩ යන මහත්වරුන් මෙහිදී පෙන්වා දුන්හ. තවදුරටත් පළාත් සභාව යටතේ රෝහල පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවද ඔවුන් සඳහන් කළහ.
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රා මල්වැන්න මහත්මිය සඳහන් කළේ කාර්ය මණ්ඩල හිඟය සෙසු රෝහල්වලද පවතින බවත් පසුගිය කාලයේ රෝහල සංවර්ධනය කිරීමට විශාල මුදලක් වැය කර ඇති බවත්ය. කෙසේ වෙතත්, ගම්පහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට සමගාමීව කිරිබත්ගොඩ සහ වතුපිටිවල රෝහල් වැඩිදියුණු කිරීමටද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














