රට තුළ ඕනෑම අවස්ථාවක ආපදා තත්ත්වයක් ඇතිවිය හැකි බැවින්, ආපදා කළමනාකරණ අරමුදලක් ඇති කිරීමට වහා පියවර ගන්නා ලෙස මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආපදා කළමනාකරණ අරමුදලක් ස්ථාපිත කිරීමට අදාළ පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා, ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළේය.
මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දුන් අතර, එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් කැඳවා තිබිණි. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික අපහසුතා සමනය කිරීමට හඳුන්වා දුන් රුපියල් බිලියන 100ක සහන පැකේජය, මාර්ග සංවර්ධන කටයුතු සහ එල් නීනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා ගෙන ඇති සූදානම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.














