සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සැලසුමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනිඅවි සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශ වෙත අවසර හිමිව තිබේ.
2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ගණේමුල්ල සංජීව ඝාතනයට ලක්විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් ලබාදුන් තොරතුරුවලට අනුව, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය 13 වැනිදා රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති බවත්, අපරාධයට අවශ්‍ය ගිනිඅවි සැපයීමට සෘජුවම දායක වී ඇති බවත්ය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනිඅවියක්, ජීව පතරොම් 10ක් සහ මැගසින් 2ක් පොලිස් භාරයට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














