විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරනු ලබන ප්‍රේෂණ පද්ධතියක (Remittance System) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි මුදලක් නිකුත් වී ඇති බව මහජන බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි. එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ මෙම දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම පද්ධති දෝෂය හේතුවෙන් සිදු වී ඇති සමස්ත මූල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 කි (කෝටි 65.6 ක්). අදාළ කාලසීමාව තුළ මෙලෙස වැඩිපුර මුදල් ලබාගත් ගනුදෙනුකරුවන් කවුදැයි හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇති බව බැංකුව පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන බැංකුව අවධාරණය කරන්නේ මෙම මුදල අදාළ කාලසීමාව තුළ බැංකුවේ ගිණුම් ප්‍රකාශනවලට ඇතුළත් කර ඇති බැවින්, ඉදිරියට මින් කිසිදු මූල්‍යමය බලපෑමක් සිදු නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, මහජන බැංකුව යනු රුපියල් ට්‍රිලියන 3.8ක වත්කම් සහිත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බැවින් බැංකුවේ ස්ථාවරත්වයට, ලාභයට හෝ ගනුදෙනුකාර තැන්පතුවල ආරක්ෂාවට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බවට බැංකුව සහතික වෙයි. දැනට බැංකුවේ එදිනෙදා කටයුතු සහ ඩිජිටල් බැංකු පහසුකම් සාමාන්‍ය පරිදි සුරක්ෂිතව ක්‍රියාත්මක වේ.













