සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය වෙනුවට සිරකරු ඇඳුමින් යුතුව ඊයේ (7) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී දැඩි සංවාදයක් ඇති විය.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ මාස 9ක සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින්, කිසිදු අවසරයකින් හෝ සංඝ සභාවේ තීරණයකින් තොරව භික්ෂුවකගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම මුළුමනින්ම බුද්ධ ශාසනයට සිදු කළ නිගාවක් බව අවධාරණය කළේය. ඥානසාර හිමියන් අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්රිධර්ම මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි ඇතුළු තවත් හිමිවරුන් රැසක්ද මීට විරෝධය පළ කරමින් අද අධිකරණය වෙත වැඩම කර සිටියහ.
















