මහත්මා ගාන්ධිතුමා 1927 වසරේදී ලංකාවට පැමිණි අවස්ථාවේ සිදුවූ ඓතිහාසික සිදුවීමක් නිරූපණය කෙරෙන සිතුවමක් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පරිත්‍යාග කර තිබේ. ප්‍රකට ශ්‍රී ලාංකික සිත්තරකු වන රාජා සේගර් (Raja Segar) සහ බැංගලෝරයේ ‘තපෝභූමි – ඔකෝ කලා මධ්‍යස්ථානයේ’ නිර්මාතෘ නමිතා ස්වාමි යන මහත්ම මහත්මීන් විසින් මෙම සිතුවම පිරිනමා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
‘ගාන්ධි සහ මිනට් ද සිල්වා (2023)’ ලෙස නම් කර ඇති මෙම තෙල් සායම් සිතුවම මඟින්, එවකට නව හැවිරිදි වියේ පසු වූ සහ පසුකාලීනව ලංකාවේ ප්‍රමුඛතම ගෘහ නිර්මාණ ශිල්පිනියක වූ මිනට් ද සිල්වා මහත්මිය විසින් ගාන්ධිතුමා වෙනුවෙන් එළු කිරි සෙවීමේ සිදුවීම ප්‍රතිනිර්මාණය කර ඇත. සිත්තරාගේ ආවේණික ‘වර්තන’ කලා ශෛලියෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම කෘතිය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පොහොසත් සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමක් වන අතර, මහ කොමසාරිස් මහේෂිණී කොලොන්නේ මහත්මිය මේ වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර තිබේ.














