සුප්‍රකට කැටලන් ගෘහ නිර්මාණ ශිල්පී ඇන්ටෝනි ගෞඩි (Antoni Gaudí) අවාසනාවන්ත ලෙස ට්‍රෑම් රථයක ගැටී අභාවප්‍රාප්ත වී වසර සියයක් සපිරෙන මෙම අවස්ථාවේදී, ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වන ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි පිහිටි ‘සග්‍රාඩා ෆැමිලියා’ (Sagrada Familia) බැසිලිකා දේවස්ථානය වැඳපුදා ගැනීම සඳහා ලියෝ XIV පාප්වහන්සේ මේ සතියේදී එහි පැමිණීමට නියමිතය. ලබන බදාදා සිදුවන මෙම ඓතිහාසික පාප්වහන්සේගේ සංචාරයේදී, දේවස්ථානයේ මීටර් 172.5ක් උසැති ‘ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුළුණ’ (Tower of Jesus Christ) නිල වශයෙන් විවෘත කිරීමට නියමිත අතර, මෙම ඉදිකිරීම් අවසන් වීමත් සමඟ සග්‍රාඩා ෆැමිලියා ලොව උසම ක්‍රිස්තියානි දේවස්ථානය බවට පත්වනු ඇත.
1926 වසරේදී ගෞඩි ට්‍රෑම් රථයක ගැටුණු අවස්ථාවේදී ඔහුගේ සරල ඇඳුම් පැළඳුම් හේතුවෙන් ඔහු හිඟන්නෙකු යැයි වැරදියට වටහාගත් පිරිස ඔහුට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පවා කටයුතු කර තිබුණේ නැත. එසේම ඔහුගේ ජීවිත කාලය තුළ ඔහු කළ අපූර්ව ගෘහ නිර්මාණ දේශීය මාධ්‍යවල දැඩි සමච්චලයට ද ලක්විය.
නමුත් අද වන විට ඔහුගේ නිර්මාණ නැරඹීමට වසරකට මිලියන සංඛ්‍යාත සංචාරකයින් පිරිසක් බාර්සිලෝනා වෙත ඇදී එන අතර, ඉන් නිර්මාණ හතක්ම යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම නිර්මාණ නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රවේශ පත්‍ර මඟින් පමණක් වාර්ෂිකව යුරෝ මිලියන 240ක පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 276ක්) දැවැන්ත ආදායමක් උපයයි. පාප්වහන්සේ නමකගේ මෙම තෙවන සග්‍රාඩා ෆැමිලියා සංචාරය සනිටුහන් වන්නේ, වතිකානුව විසින් ඇන්ටෝනි ගෞඩි මහතාව ශුද්ධවරයට (Sainthood) එසවීම සඳහා වූ මූලික පියවර අනුමත කර වසරක් ගතවන මොහොතකය.
















