ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන දුම්වැටි බදු ප්‍රතිපත්තියේ පවතින බරපතළ ප්‍රතිපත්තිමය දුර්වලතාවයන් හේතුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ආදායමට වඩා අතිවිශාල වේගයකින් බහුජාතික දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය ඉහළ ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” (Verité Research) ආයතනයේ නිල ශාස්ත්‍රීය ප්‍රකාශනයක් වන Verité Insights (Volume 13, No. 1) වාර්තාව ඇසුරින් අනාවරණය වේ. ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය පුරා ලංකාවේ දුම්වැටි බදුකරණය හැසිරී ඇත්තේ “බේබදු මිනිසාගේ සින්ඩ්‍රෝමය” (The drunken man syndrome) ලෙස හඳුන්වන ප්‍රතිපත්තිමය අස්ථාවරත්වයකින් යුතුව බවයි.
නිල පර්යේෂණ දත්ත වාර්තාවලට අනුව, 2017 වසරේ සිට 2024 වසර දක්වා වූ කාලසීමාව තුළ දුම්වැටි අලෙවියෙන් රජයට ලැබුණු බදු ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 27.5ක (27.5%) ප්‍රතිශතයකින් පමණි. කෙසේ වෙතත්, එම කාලසීමාව තුළදීම ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් බදු හැර උපයාගත් ශුද්ධ ආදායම සියයට 92.4ක් (92.4%) වැනි අතිදැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ. දුම්කොළ සමාගම විසින් සිගරට් මිල ඉහළ නංවන සෑම අවස්ථාවකදීම ඊට සාපේක්ෂව රජයේ විශේෂ සුරාබදු (Excise Tax) ප්‍රතිශතයන් ස්වයංක්‍රීයව ඉහළ නොනැංවීම සහ ස්ථාවර රුපියල් අගයකින් බදු පැනවීම හේතුවෙන්, මිල ඉහළ යාමේ සැබෑ මූල්‍ය ප්‍රතිලාභය රාජ්‍ය භාණ්ඩාගාරයට වඩා 3 ගුණයකටත් වඩා වැඩි වේගයකින් දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය වැඩිකර ගැනීම සඳහා සෘජුවම දායක වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල ජාත්‍යන්තර දර්ශකයන්ට අනුව, දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා සිගරට් එකක අවසාන සිල්ලර මිලෙන් අවම වශයෙන් සියයට 75ක් (75%) රජයේ බදු විය යුතුය. ශ්‍රී ලංකාව 2018 වසරේදී සියයට 74ක සාර්ථක මට්ටමක පසුවුවද, වත්මන් 2026 වසර වන විට මෙරට බහුලවම අලෙවි වන “ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ්” (Gold Leaf) සිගරට් එකක බදු ප්‍රතිශතය සියයට 66.8ක් දක්වා ද, ලාභදායී සන්නාමයක් වන “කැප්ස්ටන්” (Capstan) සිගරට් එකක බදු ප්‍රතිශතය සියයට 69.9ක් දක්වා ද දරුණු ලෙස පහත වැටී තිබේ.
මෙලෙස දුම්කොළ සමාගමට ලැබීමට සලස්වා ඇති රහසිගත බදු සහනය හේතුවෙන් 2026 වර්ෂය තුළ පමණක් මහා භාණ්ඩාගාරයට අහිමි වී ඇති නිල ආදායම රුපියල් බිලියන 17.3කි (රුපියල් කෝටි 1,730). රටේ සාමාන්‍ය ජනතාව එදිනෙදා භාවිත කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මත වැට් (VAT) බදු පටවද්දී, දුම්කොළ මාෆියාවේ ව්‍යාජ තර්කයන්ට හසුවෙමින් සිගරට් සමාගම්වලට පමණක් මෙලෙස රහසිගත බදු සහන සැපයීම වහාම නතර කළ යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව බදු ප්‍රතිශතය වහාම සියයට 75 දක්වා ඉහළ නැංවිය යුතු බවත් ආර්ථික හා සෞඛ්‍ය විද්වතුන් රජයට අවධාරණය කර සිටිති.
















