මාස කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද “වෙඩි නැවැත්වීමේ සාම ගිවිසුම” (Ceasefire) තවදුරටත් උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ නව ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ සමඟ ගිවිසුමෙන් පසුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මියගිය සමස්ත පලස්තීනුවන් සංඛ්‍යාව 983ක් දක්වා ඉහළ ගොස් ඇත.
වෛද්‍ය අංශ ප්‍රකාශ කළේ සෙනසුරාදා (ජූනි 13) දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) හි අල්-අමල් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් දෙදෙනෙකු මියගොස්, දරුවෙකු ඇතුළු පිරිසක් තුවාල ලබා නසාර් රෝහලට ඇතුළත් කළ බවයි. මීට අමතරව, මධ්‍යම ගාසා තීරයේ බුරෙයිජ් (Bureij) සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් ප්‍රාදේශීය මහ නගර සභා සේවකයෙකු වූ මුආවියා අල්-අයිදි (Muawiya al-Aydi) ජීවිතක්ෂයට පත්ව තිබේ.
තාක්ෂණික වශයෙන් ඔක්තෝබර් මාසයේ සිට වෙඩි නැවැත්වීමේ ගිවිසුමක් ක්‍රියාත්මක වුවද, ඊශ්‍රායලය එහි කොන්දේසිවලට පටහැනිව ගාසා තීරයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක සිය මිලිටරි පාලනය පවත්වාගෙන යමින් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරන බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගිවිසුමෙන් පසු සිදුවූ ප්‍රහාරවලින් පලස්තීනුවන් 3,122 දෙනෙකු තුවාල ලබා ඇත.
හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය සිය දේශපාලන සහ මැතිවරණ අවශ්‍යතා වෙනුවෙන් සාම සාකච්ඡා බිඳ දැමීමේ අරමුණින් සහ කලාප සීමා (Yellow Line) වෙනස් කරමින් දිගින් දිගටම ගිවිසුම උල්ලංඝනය කරන බවයි. මේ අතර, බටහිර ඉවුරේ (West Bank) ද ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන් (Settlers) විසින් පලස්තීනුවන්ට එරෙහිව දරුණු වැටලීම් සහ ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවද වාර්තා වේ.
















