ගාසා තීරයේ මාධ්‍යවේදීන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ ජීවිතවල සැබෑ අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණය වූ ‘බුලට්පෲෆ් වෙස්ට්ස්’ (Bulletproof Vests) වේදිකා නාට්‍යය ලබන මැයි 10 වන දින පස්වරු 4.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) නව රඟහලේදී වේදිකාගත වේ.
මූර්තාස් අබ්දුල් බැරී විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම නාට්‍යය, ගැටුම් මධ්‍යයේ සිය ජීවිත පවා පරදුවට තබා සත්‍යය ලොවට හෙළි කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ මාධ්‍යවේදීන් හය දෙනෙකුගේ සත්‍ය කථාන්දර ඇසුරින් නිර්මාණය කර ඇත. 2023 වසරේ සිට ගාසා තීරයේදී මාධ්‍යවේදීන් 290කට වැඩි පිරිසක් මියගොස් ඇති පසුබිමක, ඔවුන්ගේ අත්දැකීම් සහ කැපවීම් මෙම නාට්‍ය හරහා ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි.
මෂිකා මෙත්මිණි, හිරුප කිතමිණ, කවිෂ්ක ලෝචන, සහ සදීප වික්‍රමගේ ඇතුළු ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය, කොළඹ කොටුව සහ කොළඹ උතුර රොටරැක්ට් සමාජ එක්ව සංවිධානය කරන ‘චැරිටබල් 2026’ (Charitable 2026) වැඩසටහනේ කොටසක් ලෙස පැවැත්වේ.














