ලෝක බැංකුවේ නවතම රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) කාණ්ඩය දක්වා උසස් වී තිබේ. ලෝක බැංකු සමූහයේ සංවර්ධන දත්ත මධ්‍යස්ථානය විසින් සෑම වසරකම ජූලි 1 වනදා සිදු කරනු ලබන වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව මෙවර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් ඉහළ ආදායම් කාණ්ඩ කරා මාරු වී ඇත. මෙම වසරේදී ආර්ථිකයන් 218ක් ආවරණය වන පරිදි පෙර වර්ෂයේ දළ ජාතික ආදායම් (GNI) ඒක පුද්ගල ඇස්තමේන්තු පදනම් කර ගනිමින් මෙම වර්ගීකරණය සිදු කර තිබේ.
ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 2022 වසරේදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී බිඳවැටීමේ අද්දරට පැමිණියද, ඉන් වසර තුනකට පසු එනම් 2025 වසරේදී 5% ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (Real GDP) වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත. විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි නැවත පිබිදීම, මූල්‍ය සහ සංචාරක සේවාවන්හි කැපී පෙනෙන වර්ධනය මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය රටේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පිළිබිඹු කරන සලකුණක් බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.
මෙම වර්ගීකරණය යටතේ ලෝකයේ ආර්ථිකයන් අඩු, පහළ-මැද, ඉහළ-මැද සහ ඉහළ ලෙස කාණ්ඩ හතරකට බෙදා වෙන් කෙරේ. මෙවර ශ්‍රී ලංකාවට අමතරව වියට්නාමය සහ පිලිපීනය ද ඉහළ ආර්ථික වර්ධනයක් සනිටුහන් කර ඇත. එහිදී වියට්නාමය අපනයන කේන්ද්‍රීය ආකෘතියක් ඔස්සේ 2024 සහ 2025 වසරවලදී 15% කට වඩා වැඩි අපනයන වර්ධනයක් පෙන්වා ඇති අතර, පිලිපීනය වසර පහක් පුරා සියලුම ප්‍රධාන කර්මාන්ත අංශ හරහා සාමාන්‍යයෙන් 5.8% ක පුළුල් ආර්ථික මාරුවක් සහ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ලෝක බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
















