2021, 2022, 2023 හා 2024 යන වර්ෂවලදී විද්‍යා සහ ගණිත විෂය ධාරාවන් යටතේ අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් 3000ක් සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ.
සුදුසුකම් ලත් සිසුන්ට මැයි මස 29 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.health.gov.lk) හරහා අයදුම්පත් යොමු කළ හැකිය. සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව තෝරාගනු ලබන සිසුන් සඳහා පුහුණුව මෙම වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම බඳවා ගැනීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි, 2025 – 2029 වසර පහ තුළ හෙද සේවාවට 13,600ක් බඳවා ගැනීමේ අමාත්‍යාංශයේ ප්‍රධාන සැලසුමට අනුව ක්‍රියාත්මක වේ.
වර්තමානයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුළ හෙද නිලධාරීන් 43,553ක ශ්‍රම බලකායක් සක්‍රීයව සේවයේ නිරතව සිටී. ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441ක් බඳවාගෙන ඇති අතර, විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකුට මෑතකදී පත්වීම් ලබා දී ඇත. මේ වන විට දිවයින පුරා හෙද විදුහල්වල සිසු හෙද හෙදියන් 7,800කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීය පුහුණුව ලබමින් සිටී.
















