27 April 2024
#දේශීය

සා.පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට සියලු සහයෝගය දෙන්න – අධ්‍යාපන ඇමැති

අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සියල්ල සූදානම් කර අවසන් බවත්, විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය මේ අවස්ථාවේ දී ලබා දිය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2021 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිසුන් හා දෙගුරුන් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ ව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.

පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන් 517496ක් විභාගයට මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. ඒ වගේම විභාග මධ්‍යස්ථාන 3844ක් පවත්වාගෙන යන අතර එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 542ක් පවත්වාගෙන යනවා. මෙවර විභාගය දරුවන්ට විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

මේ දරුවන් සියල්ලම දිරිමත් කරනවා ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගන්න කියලා. මානව සම්පත් සංවර්ධනයේ අවසාන ඉලක්කය වන්නේ අභියෝග ජයගැනීම බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

තව දුරටත් මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමත්‍යවරයා විභාගය සඳහා ඇති ප්‍රධාන අභියෝගය ඉන්ධන හිඟය බව ‍පෙන්වා දුන්නේය.

එම අභියෝග ජය ගැනීමට නම් ඒ සඳහා අප විසින් පහසුකම් සලසා දිය යුතු වෙනවා. එනම් දරුවන් විභාග ශාලාව වෙත රැගෙන යාම හා විභාගය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත අපහසුවකින් තොරව වාර්තා කිරීම වෙනුවෙන්.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් සියලුම ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණය කර බලධාරින් දැනුවත් කර විභාග අයැදුම්පත, විභාග රාජකාරි ලිපි, හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන ලබා දීමට පුමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තියෙනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකවම්වරුන්, පොලීසිය දැනුවත් කර තියෙනවා මේ එන කීපදෙනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ඒ අනුව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ අයට සහයෝගය ලබා දෙන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටතුල බරපතල යුද්ධයක් පැවැති අවස්ථාවකදීවත් කිසිදු විභාගයකට බාධාවක් එල්ල වුනු අවස්ථාවක් අප අත්දැකලා නැහැ. වර්තමානයේ රටේ පවතින මෙවැනි තත්ත්වයක් තුල දී කිසිඳු බාධාවකින් තොරව දරුවන්ට විභාගය වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ආයාචනා කළේය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වන විට දුම්රිය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන්, පෞද්ගලික බස්රථ සංගමය, ඛණිජ තෙල් සංස්ථාව, පොලීසිය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංගම් විභාගය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ජුනි 01 දක්වා පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *