පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප‍්‍රදානෝත්සවයෙන් අනතුරුව ජුනි 25 වන දින රාත‍්‍රී කාලයේ උපකුලපති නිල නිවසේදී පැවැත්වූ මධු සාදය ”අල” වී තිබෙන බව වාර්තා වේ. රාත‍්‍රී 10 පසුවන විට ආහාර අවසන් වීම නිසා පසුව ආහාර ගැනීමට ගිය අධ්‍යයන කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට ආහාර නොමැතිව නිරාහාරව හැරී යාමට සිදුවීම මෙයට ප‍්‍රධාන හේතුව වී තිබේ.
මෙම භෝජන සංග‍්‍රහයට මෙතෙක් කල් සේවා සැපයූ පලපුරුදු ආහාර සපයන ආයතන බැහැර කරමින්, උපකුලපති මධුජිත්ගේ පෞද්ගලික දැන හැදුනුම්කම් මත එකී කටයුත්ත මහනුවර කිංග්ස්වුඞ් විදුහල අසල පිහිටා තිබෙන රෝයල් කැන්ඩියන් ආයතනයට ලබාදීමට කටයුතු කර තිබේ. මෙවැනි විශාල පිරිසකට, එකවර, එම ස්ථානයේදීම, ආහාර සකස් කර ලබාදීමේ Outdoor Catering සේවයට පළපුරුද්දක් හෝ අවශ්‍ය සේවක පිරිසක් නොමැති අදාල ආයතනය, මෙම කටයුත්ත සිදුකර තිබෙන්නේ දෛනික සේවා පදනම මත සේවයට කැදවා ගන්නා සේවක පිරිසක් යොදාගෙනය.
අමුත්තන්ගේ අවශ්‍යතාවය මත ආප්ප සහ කොත්තු එම ස්ථානයේදීම සකස් කර ලබාදීමේ සේවාව ප‍්‍රමාදවී ආරම්භ වී තිබීම නිසා මුලින් ආහාර ගත් පිරිස් බත් වෙනුවට සපයා තිබූ නාසිගුරාන් ආහාරයට ගෙන තිබෙන අතර කෙටි වේලාවකින් නාසිගුරාන් සියල්ල අවසන් වී තිබේ. නාසිගුරාන් ආහාරයට ගත් පිරිසම, පසුව නැවත, ආප්ප සහ කොත්තු ආහාරයට ගැනීමත්, මත්පැන් පානය කල පිරිස් බයිට් ලෙස ඒවා ලබාගැනීමත් හේතුවෙන් පසුව පැමිණි පිරිසට ආප්ප සහ කොත්තුද ප‍්‍රමාණවත් තරමට සැපයීමට ආහාර සේවා සැපයූ ආයතනයට නොහැකි වී තිබේ.
ඒ අනුව තැන තැන සතුටු සාමීචියේ යෙදී සිට ප‍්‍රමාදවී ආහාර ගැනීමට පැමිණි අධ්‍යයන න කාර්යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසකට වතුර උගුරක් පමණකින් සෑහීමකට පත්වී නික්ම යාමට සිදුව තිබේ.
සාම්ප‍්‍රදායීකව මෙම භෝජන සංග‍්‍රහය ලබාදෙන්නේ උපාධි ප‍්‍රදානෝත්සවය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ පිරිසට කෘතගුණ සැලකීමක් ලෙසය.ඒ අනුව උපාධි ප‍්‍රධානෝත්සවය වෙනුවෙන් වැඩිම ශ‍්‍රම දායකත්වය සපයන වැඩ දෙපාර්තමේන්තුවේ සහ උද්‍යාන පාලන දෙපාර්තමේන්තුවේ 600 කට ආසන්න සුළු සේවකයන්ට තරාතිරම නොබලා මෙයට සහභාගීවීමට මීට පෙර අවස්ථාව සලසාදී තිබුණි.
එහෙත් මෙවර එම සම්ප‍්‍රදාය වෙනස් කරමින් තෝරාගත් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව සලසා දී ඇති අතර අනෙක් පිරිසට මධුවිතෙන් පමණක් සෑහීමකට පත්වන ලෙස කියා ගල් අරක්කු බෝතල් කිහිපයක් එකී අංශ වෙත යැවීමට සංවිධායකයන් කටයුතු කර ඇත.විශාල සේවකයන් පිරිසකට ගල් අරක්කු බෝතල් දෙකකින් සෑහීමකට පත්විය නොහැකි නිසා උද්‍යාන පාලන අංශයට ලැබුන ගල් අරක්කු බෝතල් දෙක භාවිතා නොකර ආපසු හරවා යැවීමට එම සේවක පිරිස් කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.
අප මෙහිදී සිදුකරන්නේ සිදුවීම වාර්තා කිරීම පමණකි.එයින් කිසි විටෙකත් රාජ්‍ය ආයතනයක්, මහජන මුදලින්, එම භූමියේදීම, තම සේවකයන්ට, අරක්කු ලබාදීම අප කිසිලෙසකින් හෝ අනුමත නොකරන බවද විශේෂයෙන් සටහන් කර තබනු ලැබේ.
















