ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවිය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා 1979 වසරේදී තිරගත වූ ‘දුටුගැමුණු’ චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය දායාද කළ පුරෝගාමියෙකි.
සජීවීකරණයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක දස්කම් දක්වා ඇති හෙතෙම, ‘සිනමා – මායා’ ග්‍රන්ථයේ කතුවරයා වන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කෙටි කාලයක් සේවය කර ඇත.













