27 April 2024
#දේශීය

පවුල් ලක්ෂ 20කට සුබ සාධක ප්‍රතිලාභ ලබා දීම ජූලි 01 දා සිට – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

පවුල් ලක්ෂ 20කට සහන සැලසෙන සුබ සාධක ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන ජූලි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාණ්ඩ හතරක් යටතේ දිළිඳු පවුල් ලක්ෂ 20කට පමණ මෙමගින් නිශ්චිත කාල රාමුවක් සඳහා මේ යටතේ සහන හිමි වන බවයි.

ඒ අනුව අන්ත දිළිඳු වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 4ක් සඳහා වසර තුනක කාලයක් මාසිකව රුපියල් 15,000/=ක සහනාධාර හිමිවේ. දුප්පත් වර්ගීකරණය යටතේ හඳුනා ගැනෙන පවුල් ලක්ෂ 8ක් සඳහා වසර තුනකට ලැබෙන මාසික සහනාධාරවල වටිනාකම රුපියල් 8,500/=කි. අවධානමට ලක් වූ වර්ගීකරණය යටතේ පවුල් ලක්ෂ 4ක් වෙනුවෙන් ලබන වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ මාසිකව ලැබෙන ප්‍රතිලාභය රුපියල් 5,000/=කි. සංක්‍රාන්න්තික වර්ගීකරණය යටතේ වන පවුල් ලක්ෂ 4ක් සඳහා මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා රුපියල් 2,500/= බැගින් මාසික ප්‍රතිලාභ හිමි වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රතිලාභ ලබා දෙනු ලබන කාලය සහ ඊට අන්තර්ගත පවුල් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ බලය පාර්ලිමේන්තුවට ඇති අතර අදාළ කාලය තුළ ඔවුන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බව හෙතෙම කියා සිටියේය.

2019 දී නිකුත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව මෙරට රජයේ සුබ සාධන වැඩපිළි‍වෙළ මගින් සහන ලබා ගන්නා 12%ක් පිරිස වැඩි ආදායම්ලාභීන් බව පෙන්වා දී ඇතැයි සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ එය වළක්වා ගැනීමට කටයුතු කරන බවයි.

සහනාධාරි හිමි නාමලේඛන ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඒ පිළිබඳ විරෝධතා දැක්වීමේ සහ අභියාචනා ගොනු කිරීමේ හැකියාව පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *