හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා හිරිහැර කිරීම වැනි දේශපාලන පළිගැනීම් ඉදිරියට සිදු නොවිය යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. අද (අප්‍රේල් 21) කොළඹ මල් පාරේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා සිය සැත්කම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මෙරට කීර්තිමත් වෛද්‍යවරුන් තමන් නිසා යළිත් අපහසුතාවයට පත්වනු දැකීමට ඇති අකමැත්ත නිසා බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. මීට පෙර අවස්ථාවක එතුමාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකුම සී.අයි.ඩී. එකට කැඳවා ප්‍රශ්න කිරීම හරහා ඔවුන් දේශපාලන චූදිතයන් බවට පත් කිරීමට උත්සාහ කළ බව ද ඔහු චෝදනා කළේය.
මෙවැනි තත්ත්වයන් නිසා කැපී පෙනෙන දේශපාලන චරිතවලට ප්‍රතිකාර කිරීමට මෙරට වෛද්‍යවරුන් මැලි විය හැකි බවත්, එය වෛද්‍ය වෘත්තියට කරන අසාධාරණයක් බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ එස්.ටී. ජයනාග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














