එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සත්කාරකත්වය ලබාදෙනු ලබන “සනීපාරක්ෂාව සහ සැමට ජලය” (SWA) ගෝලීය හවුල්කාරිත්වයේ නියෝජිත පිරිසක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා SWA සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී මුයට්වා සිටාලි සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙරට ජනතාවගේ සනීපාරක්ෂාව, සැමට පිරිසිදු පානීය ජලය ලබාදීම මෙන්ම රෝහල් පද්ධතියේ සනීපාරක්ෂාව අඛණ්ඩව පවත්වාගෙන යාම වැනි කරුණු කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව මෙම සංවිධානය සමඟ සමීපව කටයුතු කරන අතර, මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය තාක්ෂණික, මූල්‍ය ඇතුළු සහයෝගීතාවයන් උපරිමයෙන් ලබාදීමට නියෝජිත පිරිස කැමැත්ත පළ කළහ. ලොව පුරා රටවල් 150කට අධික සංඛ්‍යාවක රජයන්, සිවිල් සමාජ සහ එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ ක්‍රියාත්මක වන මෙම ගෝලීය හවුල්කාරිත්වය, ඉන්දුනීසියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දියාව සහ ගානාව වැනි රටවල් රැසකට ද සිය සහයෝගය ලබාදෙයි.
එක්සත් ජාතීන්ගේ 6 වන තිරසාර සංවර්ධන අරමුණ (SDG 6) වන “සැමට පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව” ළඟා කර ගැනීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වේ. ශ්‍රී ලංකාව 2030 වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ තිරසාර ඉලක්කය කරා ගමන් කරමින් සිටින බැවින්, මෙම ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගීතාවයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය කෘතඥතාවය පළ කළේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, විශේෂඥ වෛද්‍ය සුමාල් නන්දසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් නිලධාරිනි නිලූෂා පටබැඳි යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
















