රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ඩෙංගු මර්දනය සඳහා සකස් කරන ලද විශේෂ යෝජනා මාලාවක් අඩංගු වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත බාර දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය අතර පැවැති හමුවකදී මෙම යෝජනා පිරිනැමිණි. සංගමයේ නව සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව සහ ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ යන මහත්වරුන් ඇතුළු විධායක සභාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අමාත්‍යවරයා සහ වෛද්‍ය සංගම් නියෝජිතයින් අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ එම රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීමේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
රටේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ සහයෝගය අමාත්‍යවරයා විසින් මෙහිදී අපේක්ෂා කරන ලදී.















