බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම මඟහැරීමට සහාය වූ බවට චෝදනා එල්ල වූ බැංකු නිලධාරියෙකු ඔක්තෝබර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි සැකකාර බැංකු නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය සඳහන් කර ඇත්තේ, ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණ තුනකින් වරෙන්තු නිකුත් කර ඇති බව දැන සිටියද, සැකකරු සිය මෝටර් රථයෙන් රාජගිරියේ සිට ඇල්පිටිය ප්‍රදේශයට උන්වහන්සේ රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම මඟහැරීමට සහාය වීම සහ අධිකරණ නියෝගවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදුකරන බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු ඔක්තෝබර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.














