හොඳ නායකයින් බිහිවන්නේ නීතිගරුක සහ ශිෂ්ට සම්පන්න සමාජයකින් පමණක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙම වැඩසටහනය පැවැත්විණි.
පාසල් ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව එකතුවෙමින් මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී ගුරුවරුන්ට ගෞරව කිරීම සහ නීතියට ගරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් නියෝජ්‍ය කථානායකවරයා, දරුවන් ඉදිරියේ යහපත් ආදර්ශයක් සැපයීම දෙමාපියන්ගේ වගකීමක් බව ද කියා සිටියේය.
මෙම අවස්ථාවේදී ජනාධිපති අරමුදලෙන් මහජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව ද සිසුන් දැනුවත් කෙරුණු අතර, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය තෝරා ගැනීම, මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සහ පාසලේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කිරීම ද සිසුවියන් විසින්ම මෙහිදී සිදු කරනු ලැබීය.















