ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පදිංචිව සිටි ඉන්දීය සම්භවයක් ඇති Google සමාගමේ ඉහළ පෙළේ ඉංජිනේරු විධායකවරියක් ඇගේ සැමියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.ජෝර්ජියා ප්‍රාන්තයේ, ස්මයිර්නා (Smyrna) නගරයේ පිහිටි ඇගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර, එය ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස පොලිසිය හඳුනාගෙන ඇත.57 හැවිරිදි ශීතල් වර්සීන් (Sheetal Wrzesien) වෙඩි වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත. ඇයගේ 23 හැවිරිදි පුත්‍රයා වන ජේසන් වර්සීන් (Jason Wrzesien) ද වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.සැකකරු වන 56 හැවිරිදි කර්ක් බී වර්සීන් (Kirk B Wrzesien) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට මිනීමැරුම සහ ආයුධ සන්තකයේ තබා ගැනීම ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් යටතේ නඩු පවරා තිබේ. ඔහු දැනට ඇප නොමැතිව රඳවා සිටී.ඇය Google සමාගමේ ඉංජිනේරු ප්‍රධානිනියක ලෙස වසර 20කට අධික අත්දැකීම් ඇති අයෙකි. ඇය මීට පෙර HomeDepot.com ආයතනයේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම්වලට නායකත්වය දී ඇති අතර, Georgia Institute of Technology ආයතනයෙන් අධ්‍යාපනය ලබා ඇත. ඇය මෘදුකාංග පේටන්ට් බලපත්‍ර දෙකක හිමිකාරිනියක සහ Georgia Tech විශ්වවිද්‍යාලයේ උපදේශක මණ්ඩල සාමාජිකාවකි.
පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන අතර, මෙතෙක් සිද්ධියට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.















