බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් පූර්‌ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම්, නිෂ්පාදනය හෝ නිමකරනු ලබන ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම තහනම් කරමින් රජය නව නියෝගයක් නිකුත් කර තිබේ. මුදල් ක්‍රම සම්පාදන හා ආර්‌ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර, එය 2026 ජූලි මස 10 වන දින සිට බලපැවැත්වේ.
මෙම නව රෙගුලාසියට අනුව, යම් රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී එම භාණ්ඩ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කරන ලේඛන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්‌ය වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ ද සැළකිල්ලට ගනිමින්, මෙම රෙගුලාසිවලට අදාළ භාණ්ඩ හෝ රටවල් මොනවාද යන්න අමාත්‍යවරයා විසින් කාලානුරූපීව නිවේදනය කිරීමට නියමිතය.
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය මීට පෙර යෝජනා කර තිබුණි. ශ්‍රී ලංකාවට සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට එම පරිපාලනය යෝජනා කර තිබූ පසුබිමක, රජය විසින් මෙම නව නීති පද්ධතිය හඳුන්වා දී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමේ පියවරක් වශයෙනි.
















