කෘතිම බුද්ධි (AI) මාදිලි වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා නව වර්ගයේ පරිගණක චිප්ස් (Chips) දෙකක් නිපදවීමට Google සමාගම Marvell Technology ආයතනය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. Nvidia සමාගම මෑතකදී හඳුන්වා දුන් තාක්ෂණයන් හමුවේ තම AI යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම Google හි අරමුණයි.
Google සහ Marvell එක්ව චිප්ස් වර්ග දෙකක් නිපදවීමට සැලසුම් කර ඇත. ඉන් පළමුවැන්න Google හි දැනට පවතින TPU (Tensor Processing Units) සමඟ එක්ව ක්‍රියා කරන නවතම ‘මතක සැකසුම් ඒකකයකි’ (Memory Processing Unit). දෙවැන්න AI මාදිලි ධාවනය කිරීම සඳහාම (Inference) විශේෂයෙන් සකස් කළ නවතම TPU චිප් එකකි.
මෙම පියවර හරහා Google බලාපොරොත්තු වන්නේ වසර ගණනාවක සිට තම චිප්ස් නිර්මාණය සඳහා සහාය වූ Broadcom සමාගම මත පවතින දැඩි යැපීම අවම කර ගැනීමටයි. මීට පෙර Nvidia සමාගම විසින් ‘LPU’ (Language Processing Unit) නමැති චිප් එකක් හඳුන්වා දීමත් සමඟ, Google ද තම AI නිෂ්පාදනවල වේගය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙලෙස කටයුතු කරමින් සිටී.
දෙපාර්ශවය අතර මෙම සැලසුම් ලබන වසරේදී අවසන් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව පර්යේෂණාත්මක නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය. මෙය අනාගතයේදී ස්වයංක්‍රීය AI නියෝජිතයින් (Autonomous Agents) වැනි දියුණු තාක්ෂණයන් වඩාත් වේගවත්ව ක්‍රියාත්මක කිරීමට මහෝපකාරී වනු ඇත.















