හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ සිය දීර්ඝ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මෙරටට බාල ගල් අඟුරු ගෙන්වූ බවට මීට පෙර කිසිදු අවස්ථාවක චෝදනා එල්ල නොවූ බවයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ බාල ගල් අඟුරු සම්බන්ධයෙන් දැනට එල්ල වන චෝදනාව මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට එල්ල වූවක් බවයි.
මීට පෙර බාල ගල් අඟුරු ගෙන්වූ බවට එල්ල වූ යම් චෝදනාවක් ඇත්නම් එය පෙන්වන ලෙස ඒ මහතා රජයට අභියෝග කළේය. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණන වාර්තාවේ ඇති තොරතුරු වහාම නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසත් කොමිෂන් සභා පත් කරන්නේ සැබෑ ප්‍රශ්නය යට ගැසීමට බවත් ඔහු චෝදනා කළේය.
වත්මන් රජය දැඩි අර්බුදයක සිටින බවත් ඔවුන් ලබා දෙන විසඳුම් තාවකාලික හෙවත් පැනඩෝල් පෙත්තක් වැනි බවත් ඔහු පෙන්වා දුන්නේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා සිටි ඔහු ඉදිරි සන්ධානයක නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව ද පැවසීය.
මීට අමතරව NDB බැංකුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතු බවත් 2022 රට බංකොලොත් වන විට මහ බැංකුව නිසි පියවර නොගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.















