Google Workspace පරිශීලකයන් හට Gemini AI තාක්ෂණය අක්‍රිය කිරීමට යාමේදී එදිනෙදා භාවිත වන අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ද අහිමි වන ලෙස පද්ධතිය නිර්මාණය කර තිබීම පිළිබඳව මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතී. Gmail සහ Workspace මෙවලම් තුළ Gemini ඒකාබද්ධ කර ඇති ආකාරය අනුව පරිශීලකයන්ට AI පහසුකම් පමණක් වෙන් කර ඉවත් කර ගැනීමේ හැකියාව සීමා කර ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම Gemini අක්‍රිය කිරීම සඳහා Gmail හි ‘Smart features’ පද්ධතිය අක්‍රිය කිරීමට පරිශීලකයන්ට සිදු වන අතර එසේ කිරීමේදී වැදගත්කම අනුව ඊමේල් ස්වයංක්‍රීයව වර්ගීකරණය කිරීමේ පහසුකම ද අහිමි වී යයි.
මීට අමතරව ලේඛන පරීක්ෂා කිරීමේදී සිදුවන ස්වයංක්‍රීය අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ නිවැරදි කිරීම් මෙන්ම ඊමේල් පණිවුඩවල ඇති තොරතුරු ස්වයංක්‍රීයව ගූගල් කැලැන්ඩරය වෙත එක්වීමේ පහසුකම ද මින් අඩාල වේ. එසේම පරිගණකයට ලැබෙන ඩෙස්ක්ටොප් නිවේදන සහ පාර්සල් ඇණවුම් ලුහුබැඳීමේ තොරතුරු පෙන්වීම වැනි AI තාක්ෂණයට සෘජුවම සම්බන්ධ නොමැති බව පෙනෙන පහසුකම් ද මෙම ‘Smart features’ යටතේම පවතින බැවින් Gemini අත්හැරීමේදී එම පහසුකම් ද පරිශීලකයාට අහිමි වේ.
පරිශීලකයන් පවසන්නේ හුදෙක් Gemini භාවිතය පසෙකලා පැරණි පහසුකම් පමණක් භාවිත කිරීමට තමන්ට ඇති අයිතිය ගූගල් සමාගම විසින් මෙලෙස සීමා කර ඇති බවයි. විශේෂයෙන්ම ආයතනික ගිණුම් භාවිත කරන්නන් හට Gemini සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පරිපාලක අනුමැතිය අවශ්‍ය වීම ද තවත් බාධාවක් වී තිබේ. පවතින පහසුකම් “ප්‍රාණ ඇපයට ගනිමින්” බලහත්කාරයෙන් AI තාක්ෂණය පරිශීලකයන් වෙත පැටවීමට ගූගල් උත්සාහ කරන බවට විචාරකයෝ පෙන්වා දෙති.














