පිලිපීන උප ජනාධිපතිනී සාරා දුතර්තේගේ (Sara Duterte) හිටපු ජ්‍යෙෂ්ඨ සහායකයෙකු මෙන්ම ඇයගේ මුදල් හසුරුවන්නා (Bagman) ලෙස හඳුන්වා ගන්නා රමිල් මද්‍රියාගා, අද (අප්‍රේල් 14) එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුව හමුවේ පෙනී සිටිමින් දුතර්තේ පවුලට එරෙහිව බරපතල චෝදනා රැසක් ඉදිරිපත් කළේය. උප ජනාධිපතිනියට එරෙහි දෝෂාභියෝග විමර්ශනය යටතේ සිදුකළ මෙම සාක්ෂි දීම මඟින් බුද්ධි අංශ අරමුදල් අවභාවිතය, මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ පවතින සබඳතා පිළිබඳව කරුණු අනාවරණය වී තිබේ.
කූට බැංකු ගිණුම් (Dummy accounts) හරහා බුද්ධි අංශ සඳහා වෙන් කළ මිලියන සංඛ්‍යාත අරමුදල් අවභාවිත කළ බවට ඔහු චෝදනා කළේය.
කොවිඩ් වසංගත සමයේ අධික මිල ගණන් යටතේ ආරක්ෂිත උපකරණ සැපයූ ‘Pharmally’ වංචාවට සම්බන්ධ පුද්ගලයන්ගෙන් මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් ලබාගෙන ඇති බවට ඔහු සාක්ෂි ඉදිරිපත් කළේය.
පිලිපීනයේ ක්‍රියාත්මක වන විදේශීය සූදු මෙහෙයුම් (POGO) සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ දුතර්තේ පවුල සමීප සබඳතා පවත්වන බවට ඔහු ප්‍රකාශ කර සිටියේය.
සති කිහිපයක සිට දැඩි අවධානයට ලක්ව තිබූ මෙම සාක්ෂි දීම පිලිපීන දේශපාලනය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ. මෙම හෙළිදරව් කිරීම් හමුවේ සාරා දුතර්තේ හට සිය උප ජනාධිපති ධුරය අහිමි වීමේ අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, දුතර්තේ පාර්ශ්වය මෙතෙක් මෙම චෝදනා සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.














