තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ඒවා මුළුමනින්ම දේශපාලන වාසි ලබාගැනීමේ සහ රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා සමාජ ක්රියාකාරිකයන් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාළව, Zoom ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බව මීට පෙර දැනුම් දී තිබූ බැවින්, මෙම සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදු විය.
පැමිණිල්ලේ නීතිඥවරයා නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ 2006 වසරේ සිට වසර 10ක් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළද, කිසිදු අවස්ථාවක භූමියේ සිදුවූ කිසිදු ක්රියාන්විතයකට තමා සම්බන්ධ වී නොමැති බවයි. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම නොවැම්බර් මස 27 වන දින දක්වා කල් තබා ඇත.
















