2027 වර්ෂයේ සිට රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම නව ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපනය සඳහා සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම, පාසල් ඇතුළත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කිරීම සහ උපරිම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමයි.
මෙම චක්‍රලේඛය සකස් කිරීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් මෙම විධිවිධාන සකස් කර ඇති අතර, එමඟින් දූෂණයෙන් තොර කාර්යක්ෂම ඇතුළත් කිරීමේ ක්‍රියාවලියක් රජය අපේක්ෂා කරයි.
















