පාර්ලිමේන්තුවේදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මාධ්‍යවල පළ වූ වාර්තා නිවැරදි කරමින් රජය නිවේදනය කළේ ජංගම දුරකථන අංක වෙනස් නොකර සේවා දායකයන් මාරු කිරීමේ (Mobile Number Portability – MNP) සේවාව එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ නොවන බවයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), අමාත්‍යාංශය සහ විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇති අතර, සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය ලබා දී ඇත්තේ අදාළ පාර්ශ්වයන්ට එකඟතාවකට පැමිණීම සඳහා පමණක් බව රජය අවධාරී කර සිටියි.
එම කාල සීමාව තුළ ක්‍රියාකරුවන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන යටතේ නියාමන විධානයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පාරිභෝගික අයිතිවාසිකම් සුරකිමින් හැකි ඉක්මනින් මෙම පහසුකම හඳුන්වා දීමට රජය කැපවී සිටින අතර, එහි නිල ආරම්භක දිනය ඉදිරියේදී නිවේදනය කරන බව දන්වා සිටී.














