උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම සහ හාලි ඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට රජයේ කැබිනට් අනුකමිටුව පියවර ගෙන තිබේ. මීට පෙර සිදුකළ තක්සේරු කිරීම්වලට ජනතාව දැක්වූ විරෝධය සැලකිල්ලට ගනිමින්, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරිනැමීමට රජය තීරණය කර ඇත. මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර තිබේ.
එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත්, ඌවපරණගම සහ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පවුල් 73ක් වෙනුවෙන් අද (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි. කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීන්දු ගෙන ඇති අතර, මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර අත්සන් තබා ඇත. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන හරහා ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි.
















